ශ්‍රී ලංකා කලා මණ්ඩලය

ශ්‍රී ලාංකේය ජනතාවට ආවේනික කලාවන් පිළිබඳ පෘථුල දැනුමක්, අවබෝධයක් හා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීම තුළින් එම කලා අංග ප්‍රවර්ධනය, සංවර්ධනය හා සංරක්ෂණයට අදාලව කටයුතු කිරීම උදෙසා 1952 අංක 18 දරණ පනතින් පිහිටුවා ඇති  ශ්‍රී ලංකා කලා මණ්ඩලය රේඛීය අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයාගේ නිර්දේශයෙන් පත්වන  සභාපතිවරයෙක්  සහ විධායක සභිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත වන අතර ප්‍රධාන විධායක නිළධාරී හෙවත් ලේකම්වරයෙකුගෙන් යුක්ත මණ්ඩලයක් මගින් පරිපාලනය කරනු ඇත.

 

ආයතනයේ දැක්ම, මෙහෙවර හා අරමුණු

දැක්ම

ශ්‍රී ලාංකේය කලාකරුවන් සහ කලා නිර්මාණ ජාත්‍යන්තරයේ අග්‍ර ස්ථානයට නැංවීම.

ආසියානු කලාපයේ කලාව කේන්øස්ථානයට පත්කර ගැනීම සඳහා ලාංකීය ප්‍රජාවගේ සෞන්දර්යාත්මක ප්‍රවණතා නංවාලීම.

මෙහෙවර

මේ මොහොතේ උපදවන නව්‍ය කලාවන් මෙන්ම ප්‍රවේණී, දේශජ කලා හා ශිල්ප රකිමින් අගයමින්  අනුබල දෙමින්, කලාවේ පැවැත්මට අරමුදල් උත්පාදනය කරමින්, කලා දැනුම සහ රසික පර්ශද පුළුල් කරමින්, කලාවන්ගේ අවබෝධය  භාවිතය  සහ කලා සම්පාදනයේ ප්‍රමිති දියුණු කිරීමෙන්, සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවට කලාකෘති ප්‍රවේශනයට ඇති අවස්ථා ඉහළ නංවමින් විදේශීය සහ දේශීය කලා සම්බන්ධතා පුළුල් කරමින්, හුවමාරු සහ හවුල් වැඩසටහන් උත්පාදනය කරමින්, නිර්මාණාත්මක කර්මාන්ත බල ගැන්වීම, දිරි ගැන්විම සහ අනුග්‍රහය දක්වමින්, ඉහත  අරමුණු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය බල මණ්ඩල  සහ වෙනත් ඕනෑම සංවිධාන, ආයතන සඳහා අවශ්‍ය උපදේශ සැපයීමෙන් සහ ඕනෑම ආයතනයක් සමග  සහයෝගයෙන් කටයුතු කිරීම.

අරමුණු හා කාර්යයන්

1952 අංක 18 දරණ පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රී ලංකා කලා මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් ළඟා කර ගැනීමට ඇති පොදු අරමුණු ලෙස සඳහන් වන්නේ,

(අ)     ලලිත කලාවන් පිළිබඳව පෘථුල දැනුමක්, අවබෝධයක් සහ ක්‍රියාකාරිත්වයක් වර්ධනය කිරීම.

(ආ)    ශ්‍රී ලාංකික ජනතාව කරා කලා කටයුතු ගෙන යාම, දියුණු කිරීම.

(ඇ)    ලලිත කලා කටයුතුවල තත්වය වැඩිදියුණු කිරීම.

(ඈ)    ශ්‍රී ලංකාවට ආවේණික කලාවන් සහ කර්මාන්තයන්හි සංවර්ධනය තහවුරු කිරීම, දිරිගැන්වීම සහ උනන්දු කිරීම.

(ඉ)     ඉහත සඳහන් අරමුණුවලට කෙලින් හෝ අනියම්ව අදාළවන කුමන කරුණක දී වුව ද, රජයේ දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය බල මණ්ඩල සහ අනෙකුත් ආයතනවලට උපදෙස් දීම.

 

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ උපදේශක සභා

  1. සාහිත්‍ය උපදේශක සභාව
  2. නාට්‍ය උපදේශක සභාව
  3. නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක සභාව
  4. සංගීත උපදේශක සභාව
  5. දෘශ්‍ය කලා උපදේශක සභාව
  6. රූපවාහිනී කලා උපදේශක සභාව
  7. අස්පර්ෂණීය උරුමයන් සංරක්ෂණ උපදේශක සභාව
  8. ගුවන් විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය උපදේශක සභාව
  9. සිනමා උපදේශක සභාව